චූටි දුව

අපේ ගෙදරට උඩ ගෙදර පොඩි ලමයි තුන්දෙනෙක් ඉන්නව, පුතාල දෙන්නයි එක දුවකුයි ,දුව තමයි බාලයා, එයා තමයි අපේ ගෙදර නිතරම එන්නෙ දුවත් එක්ක සෙල්ලම් කරන්න. දුවට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල්. දවසක් ඒ ගෙදරින් හොද බජව්වක් ඇහෙනව, බයිල සින්දු තමයි කියන්නෙ තුන්දෙනා එකතු වෙලා, ටිකකින් අමුතුම, අලුත් බයිලාවක් ඇහෙන්න පටන් ගත්ත. අපිටයි ඒ ගෙදර අයටයි පුදුමයි කවදාවත් අහල නෑනෙ එහෙම බයිලාවක්, හොද තාලෙට කියනව මේසයකටයි, ටින් එකකටයි තට්ටු කරන ගමන්. මෙන්න බයිලාව “තිබ්බ නේද මේසෙ උඩින් වැනිල කුප්පිය” ඊට පස්සෙ මේක විතරයි දිගටම කියන්න්නෙ.

පස්සෙ අපි හොයල බැලුව මේක සිදුඋන විදිය, අපේ දුවට ගෙනෙල්ල දෙන කවි තියෙන පොත් අපි එයාට ඇහෙන්න කියවනව, කිහිප වාරයක් කියවනකොට ඒව එයාට කටපාඩම් වෙනව, ඊට පස්සෙ දුව ඒ කවි වලට එයාගෙ වචන දාල කවි වගේ ඒව හදනව, ඉතින් අපි ඒව බොහොම ආදරයෙන අගය කරනව, දුව  කවියක්  හැදුවාම  දුවගෙ සීයා ඒවා දිනයත් එක්කම පොතක ලියල තියාගන්නව.

මේ කවි වලට දුව වචන හොයා ගන්නෙ එයා සෙල්ලම් කරන්න ගන්න, වට පිට දකින්න තියෙන දේවල් අනුව. කේක්, අයිස්ක්‍රීම් හදන්න ගෙනාපු ඉවරඋන වැනිල කුප්පියක් තමයි මේ දවස් වල ප්‍රධානම සෙල්ල්ම් බඩුව, ඉතින් මේකෙ වතුර පුරවල ඒකෙන් තමයි බෝනික්කන්ට වතුර, බෙහෙත් වගේ දේවල් දෙන්නෙ, අනිත් වෙලාවට මේසයක් උඩ තමයි තියල තියෙන්නෙ. තාත්ත කිව්ව දුව ඔය වගේ එකක් කිව්ව කෝකටත් ලියපු පොත බලමු කියල, බලනකොට මේක ලියල තියෙනව පොතේ, ඒක කියල තියෙන්නෙ උඩ ගෙදර දුවත් අපේ ගෙදර ඉන්න වෙලාවක, මේක ඒ දුවටත් මතක තිබිල සින්දු කියන වෙලාවට අයියලට කියල තමයි බයිලාව හදල තියෙන්නෙ.

කොහොම කොහොම හරි දුව ගීත රචිකාවියක් උනා. ඊලගට දුව හදපු කවි කතා ටිකක් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ, හැබැයි ගොඩක් කවි වල තියෙන්නෙ එක පේලියයි.

දුව දැන් සෙල්ලම් ගෙවල් දානව උඩ ගෙදර ඉන්න දුවත් එක්ක එකතු වෙලා. මේකට උදව් කරන්න මම මේ දවස් වල පොඩි කූඩාරමක් හොයනව තාම හම්බ උනේ නෑ ගන්න, දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්. මම දැකල තියෙනව ඉස්සර දවස් වල හැව්ලොක් පාක් හරියෙ පාර අයිනෙ තියාගෙන විකුණනව මේ දවස්වලනම් තිබුනෙ නෑ. මේ සෙල්ලමට බෝනික්කන් හතර පස් දෙනෙක් ඕන. මේ අයට නමුත් දාල තියෙන්නෙ ආච්චි එක්ක එකතු වෙලා, “පින්කි” “රෝසි” මේ අතරින් කීපදෙනෙක්. සෙල්ලමට වැටුනම කිසි දෙයක් මතක නෑ, හැබැයි බත් ටිකක් කවාගන්න පුළුවන් දෙන්නටම එකට කන්න දුන්නම. ඒත් ඉතින් දවල්ට කෑවොත් රෑට නෑ ඒ වගේ තමයි. දුවට දැන් අවුරුදු තුනකටත් ලගයිනෙ, කාලය ගෙවිල යනව තේරුනේ නෑ.

ලගදි දවසක් දුව රෑට බත් කෑවෙ නෑ, බත් එපා කියල බිස්කට් ඉල්ලුවා මම ක්‍රීම්ක්‍රැකර් එකක් දීල වඩාගත්ත, මම අහන්න හැදුවෙ දුවගෙන් ඇයි බත් කන්න කැමති නැත්තෙ කියල, දුවට මේක දැනගන්න ඇති, මම දුවට කිව්ව තාත්ත පොඩි වැඩක් අහන්න හදන්නෙලෞත්තරයක් දෙනවද කියල, දුව එකපාරටම අතේ තිබුන බිස්කට් කෑල්ල මගේ කටට දාල කියනව කටේ කෑම තියාගෙන කතාකරන්න හොදනෑලු, ඒක නිසා පස්සෙ අහන්න කියල ම්ගේ අතින් බැහැල අම්ම ලගට ගියා. මොනව කරන්නද මම දුවගෙ කපටිකමට අහුවෙලා පැත්තකට වෙලා හිටිය. හැම තාත්තලටම මෙහෙම වෙනව ඇති, මට විතරක් නෙමේ මම හිතන්නෙ.

ලගදි දවසක උදේ මම දුව කරේ තියාගෙන මිදුලෙ ඇවිදිමින් හිටිය, මිදුල කිව්වට කන්ද තමයි, රෑ වැහැල පොලොව හොදට තෙමිල තිබුනෙ, ම ඒ ගැන එච්චර සැලකිලිමත් උනේ නෑ. ඒත් එකපාරටම පොඩි පල්ලමකට මමයි දුවයි ලිස්සල වැටුන, කෙලින්ම මගේ පිටිපස්ස පැත්ත තමයි බිම වැදුනෙ, මට කථා කරගන්න බැරිව විනාඩි පහක් විතර එහෙමම හිටිය, වාසනාවට දුවට කිසිම තුවාලයක් උනේ නෑ. කොහොම හරි මම බිරිදට කෑගැහුව දුවව ගන්න කියල, එතකොට තමයි දුවට තේරුනේ මට නැගිටින්න අමාරුයි කියල, ඒ පාර දුව හයියෙන් අඩන්න ගත්ත තාත්ත නැගිටින්න කියල. මට නැගිට ගන්න බෑ වැදුනු පාරට. බිරිද දුවගෙන ඇවිත් දුවව අරගෙන විනාඩි ගණනක් ගියාට පස්සෙ තමයි මට නැගිට ගන්න පුළුවන් උනේ, තාමත් කොන්ද රිදෙනව, මේ සිදුවීමනම් මට අමතක වෙන්නෙ නෑ මොකද දුව මාත් එක්ක ඉන්නකොට වැටුනමයි මේ. මීට පස්සෙනම් දුවත් එක්ක අවදානම් ස්ථානවල ඇවිදින්න යන්නෙ නෑ කියල හිතාගත්ත.

දුව මේ දවස් වල සබන් බෝල යවන එක තමයි අලුතින් කරන සෙල්ලම, අපි දුවට ගෙනෙල්ල දුන්න එකපාරට සබන්බෝල ගොඩක් යවන්න පුළුවන් සෙල්ලම් බඩුවක්, දැන් ඉතින් ඒක අතඅරින්නෙම නෑ. සමහර වෙලාවට නිදාගෙන නැගිටින්නෙත් අම්මා සබන්බෝල යවමු, ආච්චිඅම්මා සබන් බෝල යවමු කියාගෙන. සබන් බෝල යවන එකට එක පාරක් පිම්බම සබන් බෝල 25 ක් 30 ක් විතර එක පාරට යවන්න පුළුවන්, හරිම ලස්සනයි, ඒත් දුවට ටිකක් මහන්සියි දිගටම කටින් පිබින්න ගියාම. ඒ පාර මම ඒක ෆෑන් එකට අල්ලල සබන් බෝල යවන්න කියල දුන්න, දැන් සතියකට එක සබන්බෝල බෝතලයක් විතර ඉවර කරනව. පස්සෙ මම ඒ liquid එක හදන formula එක net එකෙන් හොයාගෙන අත්හදා බැලුව, ඒක හොදට හරිගියා, දැන් සබන්බෝල liquid එක ගෙදරම තමයි හදල දුවට දෙන්නෙ. ඉතින් දුව සබන්බෝල යවනකොට අපි ඒවා අල්ලන්න හැමතැනම දුවන්න ඕන, හොද පණයනව සෙල්ලම ඉවර වෙනකොට. ඒත් දුව සතුටුවෙනකොට අපේ මහන්සිය ඉබේම නිවිල යනවනෙ.

දුව ගැන ලියන්න බැරිඋනා ගොඩක් කාලෙකින්, වැඩත් වැඩියි, කරදර ටිකකුත් තිබුන, ලියන්න තරම් හොද මානසිකත්වයක් තිබුනෙ නෑ. ඒකයි දුව ගැන ලියන්න පරක්කු උනේ. කිහිප දෙනෙක් මේ ගැන විමසලත් තිබුන ලියන්නෙ නැත්තෙ ඇයි කියල, මේක ඒ අයට පිළිතුරක් වේවි කියල හිතනව.

මේ දවස් වල දුවට සනීප නෑ ටිකක් විතර හෙම්බිරිස්සාව හැදිල ඉන්නෙ. හැදුනෙ කොහොමද කියල ඇහුවම නම් කියන්නෙ තාත්තගෙන් බෝඋනා කියල, මොකද මටත් හෙම්බිරිස්සාව හැදිල තියෙන්නෙ මේ දවස් වල. දුව දැන් ටිකක් ලොකුයි වයසින්නම්, හැබැයි බත් වගෙ කෑම කන්නෙ නැති නිසා ඇගෙන් නම් පොඩියි හොදටම, බත් කන්නෙ දවස් දෙකකට විතර පාරක් තමයි.

මේ දවස් වල පියන් වලින් කරන සෙල්ලම් තමයි දුව ගොඩක් කරන්නෙ, (මොකද එක එක පාට පියන් ගොඩක් හම්බ වෙලා තියෙන්නෙ) ඊට අමතරව බෝනික්කන් නලවන එකත් ජනප්‍රිය සෙල්ලමක් තමයි. මේකට ඉතින් අපිත් එකතු වෙන්න ඕන, බෝනික්කන් අරගෙන, ගොඩක් වෙලාවට ආච්චියි, සීයයි තමයි මේකට අහුවෙන්නෙ, පැයක් විතර ඉතින් එයත් එක්ක මේ සෙල්ලම් ඉවර වෙනකම්ම ඉන්න ඕන වෙන වැඩකට එහෙම යන්න බෑ.  එහෙම නැත්නම් සින්දු වලට එයත් එක්ක නටන්න ඕන, සමහර වෙලාවට දුව වඩාගෙන තමයි නටන්න ඕන, නටන විදියයි, සින්දුවයි ගැන අවසන් තීරණය දුවගෙ තමයි, අපට තියෙන්නෙ කරන්න විතරයි, මම හිතන්නෙ හැම ගෙදරම ඔහොම තමයි.

ඉතින් අදට ටිකකින් නවතින්නම්, මම දුව ගැන දිගටම ලියනව, මාත් එක්ක ඉන්න ඔබට ස්තුතියි..

දුවගෙ උපන් දිනයත් ලගයි, ජනවාරි 4 වෙනිදට අවුරුදු දෙකක් වෙනව. කාලය ගෙවුන වේගය හිතා ගන්නත් බෑ. දැන්න්ම දුව දාල රැකියාවට එන්න හිතෙන්නෙම නෑ. ලගටම වෙලා ඉන්න තමයි ආස. මොනව කරන්නද ඒත් රැකියාවත් බේර ගන්න එපැයි.

මේ තියෙන්නෙ දුව කරන වැඩ ටිකක්,

දුව දැන් හැඩතල දෙකක් අදුරගන්නව, ඒ රවුම හා කොටුව. දවසක් මම රවුමක් ඇදල ඇහුව මේ මොකක්ද කියල, දුව කිව්ව රවුමක් කියල, ඊට පස්සෙ මම කොටුවක් ඇදල ඇහුවම ඒකත් කිව්ව. ඊට පස්සෙ මම නිකමට වගේ ත්‍රිකෝණයක් ඇදල ඇහුව මොකක්ද කියල දුව දන්නවද කියල. මෙන්න එකපාරටම දුව කියනව ඒ ෆිෂ් බන් එකක් කියල. මොකද දුව දවසක් හොදට බලාගෙන හිටිය ගෙදර මාළුපාන් හදනව, ඒක මතක තිබිල තමයි එහෙම කිව්වෙ. ළමයි ගොඩක් දේවල් ඉගෙනගන්නෙ අත්දැකීමෙන්නෙ. ගෙදර රොටි, ඉදිආප්ප වගෙ පිටි වලින් හදන කෑම හදනකොට දුවටත්  පිටි ඕනවෙනව සෙල්ලම් කරන්න. දැන් කෑම හැදුවෙ නැතත් මතක් උනාම පිටි අනල දෙන්න ඕන සෙල්ලම් කරන්න.  ඒවගෙන් එක එක විදියෙ දේවල් හදනව, මෙ සෙල්ලමට වැඩියෙන්ම අහුවෙන්නෙ ආච්චි අම්ම තමයි. ගෙදර ලගට නයෙක් ආව දවසක්, ඒ දවස් වල දිගටම හැදුවෙ නයි තමයි, ඊට පස්සෙ බෙහෙත් වගයක් දැකල මේ දවස් වල ප්ලාස්ටික් බටයකින් බෙහෙත් පෙති කපන එක තමයි සෙල්ලම. දවසක් රතුපාට බෙහෙත් පෙති ගොඩක් තියෙනව වීසි කරන්න තියල බලනකොට පිටිවලට රතුපාට කලරින් කළවම් කරල අම්මත් එක්ක, මමත් රැවටුනා බෙහෙත් කියල.

දුවගෙ දත් ආපු දවස් වල දත් මදින එකත් යුද්ධයක් වගෙ ඒකට කැමතිම නෑ. ඒත් දැන් දුව දැන් හොදට දත් මදිනව කරදරයක් නැතිව. ඒත් අද උදේ දත් මදින්න කිව්වම දුව කියනව ” ඊයෙත් මැද්දනෙ අද ඕන නෑ” කියල, ඒ පාර එහෙමහරි යන්නෙ නෑ අදත් මදින්න ඕන කිව්වම කියනව ” අර ආච්චි අම්මයි, අම්මයි හිටපු දවසෙත් මැද්දෙ” කියල. පස්සෙ දත් ටික මැද්ද කරදර කරේ නෑ මදින්න බෑ කියල. 

දුව පොඩි කාලෙ ඉදලම නිදාගන්න කැමති කොට්ටයක් තියෙනව, ඒකට කියන්නෙ කුරුළු කොට්ටෙ කියල. එහෙම කියන්නෙ ඒකෙ කුරුල්ලො පවුලක් ඇදල තියෙනව. එහෙම ඇදල දුන්නෙ දුවගෙ සීය. අද නිදාගන්න ගිහිල්ල මේ කොට්ටෙම ඉල්ලනව. ඒත් ඒක හෝදල තෙතයි. ඕනම කියන නිසා දුන්න, ඒත් එකෙ නිදාගන්න බෑනෙ හීතලයි, පරදින්නත් කැමති නෑනෙ, ඒ පාර ඒකොට්ටෙ උඩින් වෙන කොට්ටයක් තියන්නලු නිදාගන්න. එතකොට දුව දිණුම්නෙ. එහෙම කරා ඒපාර.

දැන් කියන වචන තමයි මරු, ඇයි සමහර අකුරු කියවෙන්නෙ නෑනෙ

හමයියා –> හමනලයා = සමනලයා , හවුම් හවුම් බිස්කට් = රවුම් රවුම් බිස්කට්

ලගදි දවසක සෙල්ලම් කර කර ඉන්නකොට කලිසමේ පිප්පියක් දාගෙන, ඒපාර ආච්චි කියල තියෙනව කලිසමක් අරගෙන එන්න අන්දන්න කියල. ඒපාර කාමරයේ කලිසම් දාල තියෙන බකට් එක ගිහිල්ල බලල කලිසම් තියෙනවද කියල. තිබුනත් අරගෙන එන්නෙ නැතිව අත් දෙකත් පිටිපස්සට කරගෙන හිමිහිට කිය කියා යනවලු “ආච්චි අම්මට කියන්න ඕන පෑන්ටි නෑ කියල”.

දුව දැන් ටිකක් විතර උස ගිහිල්ල, අවුරුදු දෙකකට ලගයිනෙ කලින් ඇදපු ඇදුම් ටිකක් කොට වෙලා. කොහොම උස ගිහිල්ලද කියල පුදුමයි හරියට කෑම කන්නනෙත් නැතුව. අළුතෙන් ඇදුම් ටිකක් ගත්ත. උස ගානටම තියෙනව ඒත් දුව හිතන්නෙ ඇවිදිනකොට පෑගෙයි කියල ඒක නිසා අත් දෙකෙන් අල්ලගෙන තමයි ඇවිදින්න ගත්තෙ. එතකොට හරි ලස්සනයි. ඒත් කරදර නිසා දැන් අපි කකුල් උඩට නවල තමයි අන්දන්නෙ. දුවට දැන් හොදට කතාකරන්න පුළුවන් හැබැයි සමහර අකුරු කියවෙන්නෙ නෑ තවම හරියටම. දුව දැන් පොත්වල තියෙන ඒව මතකයෙන් කියනව. පොත්වල තියෙන කතා අපි කියල දුන්නට පස්සෙ ඒව මතකයෙන් කියන්න පුලුවන්. දුව මේ දස්වල වැඩියෙන්ම ආසම  කතා පොත තමයි “කවුද කවුද හැංගිලා” කියන පොත. හැබැයි කියන්නෙ “කවුඩ කවුඩ හැංගිලා” කියල. අපි පොතේ වැකියක මුල ටික කිව්වම දුව ඉතිරිය සම්පූර්ණ කරනව. ඒ කතාව මේ වගේ ” අද හරිම කළුවර දවසක්, වලස් පුංචා මිදුලට ආවා, කළුවරේ කහපාට ඇස් දෙකක් පේනවා, ……..” ඵ් පොතේ එක පිටුවක එක වැකියයි තියෙන්නෙ.  ඊට පස්සෙ අපි එයාව අගය කරාම එයාට හරි සතුටුයි, හොදට හිනාවෙලා සතුටු වෙනව තමන් කරපු හපන්කම අපි අගය කිරීම නිසා.