චූටි දුව

Archive for June 2008

දුව සෙල්ලම් කරන්න ආසම දේවල් තමයි ඇට වර්ග, බොත්තම් ,පෑන්, පැන්සල්, වයර් වෑලි, පොත් වගේ දේවල් (වැලි,වතුර ඇරුනහම). බෝනික්ක්කො එක්කත් සෙල්ලම් කරනව. ඇට ජාති වගේ කටේ දාගෙන හිරකරගන්න දෙවල් එක්ක සෙල්ලම් කරනකොට අපි බලාගෙනම ඉන්නව, බයයිනෙ හිරකර ගත්තොත්. ඇට වගෙ පොඩි දේවල් ඔක්කොම එක අතකට ගන්න තමයි උපරිම උත්සාහය. ඒත් පොඩි අතකට ගන්න පුළුවන් කීයද. ඒත් අතඅරින්නෙම නෑ කොහොම හරි ගන්න උත්සාහ කරනව, සාර්ථක උනොත්, කට පුරා හිනාව බලන්න ආසයි.

ඒ වගෙ පොඩි දේවල් අතට අරගෙන පොඩි බෝතලයකට, පියනකට වගේ එකකට දාගන්නව ඊට පස්සෙ ගේ හැමතැනම වීසි කරනව, ආපහු අහුලගන්නව පැයකට විතර පස්සෙ ඇති වෙනව. ඊට පස්සෙ වෙනත් සෙල්ලමක් හොයා ගන්නව. අපි ඉතිං පස්සෙන්ම ඉන්න ඕන. ආසයි බලන් ඉන්න කරන දෙවල්. දුව පෑන්, වයිට් බෝඩ් මාකර් , ප්ලැටිග්නම් වගේ දේවල් වලින් ලියන්න (බලි කුරුටූ අදින්න ) ආසයි. අපි වැඩක් කරන්න ගත්තොත් ඒ පොත්, පෑන් එයාට ඕන. අරගෙන බිම දාගෙන ලියනව ඉතින් පොත් ඉවරයි. ඒක දුවට දීල අපි වෙන පෑනක් ගත්තොත් ඒකත් එයාට ඕන, තව පෑන් පොත් කීයක් ගත්තත් දුවට දෙන්න වෙනව සෙල්ලම් කරන්න. ඒක නිසා මොනව හරි ලියන්නම් දුවගෙ අවධානය වෙන අතකට යොමු වෙනකම්ම ඉන්න ඕන. ටික වෙලාවකින් පොත පැත්තකට දාල බිම ලියන්න පටන් ගන්නව (බිම අදිනකොට බලන්න ආසයි, පස්ස උඩතියන් තමයි අදින්නෙ), ටිකකින් ඒකත් අවසානයි, ඊට පස්සෙ බිත්ති වල අදිනව, හැම බිත්තියම මේ වෙනකොට ඇදල ඉවරයි එකම උසකට.

මට ගෙදර ඉන්න බල්ලො ගැන කියන්න බැරි උනානෙ. ඒත් ඊට කලින් කියන්න එකක් තියෙනව, දුව බල්ලන්ට හරිම ආසයි, එයාගෙ හොදම යාළුවො තමයි බල්ලො. බල්ලෙක් දැක්කොත් ඉවසුමක් නෑ කොහොම හරි අල්ලන්න තමයි බලන්නෙ. බල්ලොත් එක්ක කතා කරන්න අපට බැරි උනාට පොඩි ලමයින්ට අදහස් හුවමාරු කර ගන්න පුළුවන් ඇති, බල්ලොත් පොඩි දරුවන්න්ට හරිම ආදරෙයිනෙ. ගෙදර ඉන්න බල්ලන්ට දරුවො කොච්චර ගැහුවත් හපාකන්නෙ නෑනෙ. අපේ අයියලගෙ ගෙදර ඉන්න බල්ලන්ට අයියගෙ බබාල දස වද දෙනව, උන්, උන්ට නෙවේ වගෙ ඉන්නව. දරුවන්ට හරිම ආදරෙයි. දන් ඉතින් ගෙදර ඉන්න බල්ලො දෙන්නා ගැන, එක්කෙනෙක් ටීරො අනිත් එක්කෙනා ටායි, ටායි ට දුව කියන්නෙ යෝ යෝ කියල. ඒ දෙන්නව බදාගන්න දවසක් හැදුව, අමාරුවෙන් නවත්ත ගත්ත. ටීරෝ දුව ගානටම උසයි දුවගෙ ඇගේ වැදුනොත් දුව වැටෙන්නත් පුලුවන් ඒකනිසා ඒ අය ලිහපු වෙලාවට හොදට බලාගන්න ඕන.

දැන් කාලෙ පොඩි ලමයි  සෙල්ලම් කරන්න ගන්නෙ අලුත් දෙවල්, මගෙ phone එක දැක්ක ගමන් ඒක එයාට ඕන සෙල්ලම් කරන්න. කණ ලගට කරගෙන තාත්ත, අම්ම කියකිය හැම තැනම දුවනව. ලස්සනයි ඒත් ඉතින් සෞඛ්‍යයට හොඳද දන්නෙ නෑනෙ, ඉල්ලුවට දෙන්නෙත් නෑ, ගත්තොත් අඩනව, ඊට පස්සෙ ඒකෙ තියෙන button press කරනව, එතකොට එලිය එන නිසා ඒකටත් කැමතියි. ටිකකින් එපා වෙනව එතකොට බිමට වීසි කරල දානව, බැටරිය පැත්තක  phone එක පැත්තක, හොදට හිනාවෙනව එහෙම කරල (අපි එපා කියන දේවල් කරන්න පොඩි අය කැමතියිනෙ)

දුව මේ දවස් වල වැලියි, වතුරයි එක්ක සෙල්ලම් කරා වැඩියෙන්, දූවිලි තියෙන නිසා හෙම්බිරිස්සාව හැදිල, හරියට නින්ද යන්නෙත් නෑ අසනීම උනාම, නැගිට්ට ගමන් සෙල්ලම් කරනව එතකොට සනීපවෙන්න යන කාලයත් වැඩියි, එයාලට ඒක තේරෙන්නෙ නෑනෙ. අපේ හිතට දුකයි, හරියට කෑමක් ගන්නෙවත් නෑනෙ අසනිප උනාම. හැබයි දුවනම් කොහොමත් කෑමට හොරයි, බරත් වයසට වඩා අඩුවෙන් තමයි තියෙන්නෙ. කෑම කවනකොට පැය භාගයකට වඩා කවන්න හොද නෑනෙ, මොනව දුන්නත් කන්නෙ නෑ, එයාට ඕනනම් විතරයි කන්නෙ, ඊට පස්සෙ අපේ අතට ගහල වීසි කරනව එපා එපාකියල. කොහොමත් බලෙන් කවන්න හොද නෑ එතකොට කෑම එපා වෙනවලු බබාලට.

දුව දැන් බත් අතින් කන්න කැමතියි, බත් කනකොට කනවට වඩා ගොඩක් බිමට වැටෙනව. කටක් දෙකක් කාල බත් එක්ක සෙල්ලම පටන් ගන්නව. අතට අරන් කාක්කන්ට වීසි කරනව බා බාකියල. ලගදි දවසක උදේට දීපු රොටි කෑල්ලක් කාක්කන්ට දීල, උන් එකෙක් අතේ තියෙද්දීම අරගෙන ගිහිල්ල. දුවට හරි සතුටුයි කාක්ක ලගටම ආවට. ඒත් දුවට කෙටුවනම්, මොනව කරන්නද ඒක නිසා දැන් කවන වෙලාවට කාක්කොන්ට පැත්ත පලාතක එන්න දෙන්නෙ නෑ. දුව කොහොමත් සත්තුන්ට කිසිම බයක් නෑ. අපේ ගෙදරට වවුල්ලු වගයක් එනව රෑට. දවසක් උන් එකෙක් යන්න බැරුව බිම වැටිල හිටිය. දුවට දැක්ක ගමන් අල්ලන ඕන උනා, එපා කිව්වට අහන්නෙ නැති නිසා අල්ලන දුන්න. දුව ඇගිල්ලෙන් අල්ලනකොට වවුල පිහාටු දෙක විහිදුවනව, එතකොට දුවට හරිම සතුටුයි. කොහොම හරි පැයක් විතර මේ සෙල්ලම කරා අපේ අධීක්ෂණය ඇතුව පස්සෙ අපි පවු වවුල මැරෙයි කිව්වම යන්න දුන්න. එහෙම ඒවත් මේ පොඩි වයසට තේරෙනව. ඊට පස්සෙ මුළු ඇගම හේදුව, විසබීජ තියෙන්න පුළුවන්නෙ වවුලන්ගෙ.

 

අනිත් පොඩිඋන් වගේම දුවත් හරිම ආසයි වැලි, පස්, වතුර අල්ලන්න. ඒත් අපි පොඩිකාලෙ තරම් ඒව කරන්න ඉඩ හම්බවෙන්නෙ නෑනෙ දැන් කාලෙ පොඩි අයට. ගොඩක් වැඩිහිටි අය බයයි ලෙඩවෙයි කියල වැලි ඇල්ලුවම. ඒත් අපිනම් පුළුවන් හැම වෙලාවකදිම දුවත් එක්ක මිදුලෙ සෙල්ලම් කරනව, අපටත් වැලි නාන්න වෙනව දුවත් එක්කම, පොඩි අය කැමති ඒ අය සෙල්ලම් කරන වෙලාවට අපිත් ඒ අයත් එක්ක සෙල්ලම් කරනවනම්, හැබැයි දුව කියන විදියට තමයි අපි සෙල්ලම් කරන්න ඕන. පොඩි අය හිතන්නෙ අපට තියෙන්නෙ ඒ අයත් එක්ක සෙල්ලම් කරන්න විතරයි කියල, ජීවන සටන ගෙනියන්න අපි මොනතරම් දේවල් කරන්න ඕනද.

අපි දුවට ලගදි ගෙනෙල්ල දුන්න ප්ලාස්ටික් වලින් හදපු වැලි සෙල්ලම් කරන සෙට් එකක්, හැබැයි මේකෙන් සෙල්ලම් කරන්න කැමතිනෑ එච්චරම, අතින් අල්ලන්න තමයි කැමති . මේකෙන්  දවසක් පස් වතුර එක්ක හොදට කළවම් කරා, පස්සෙ ඒක පැත්තකින් තියල අත් දෙකෙන් අල්ලන්න ගත්ත. අපිත් බලාගෙන හිටිය මොකද කරන්නෙ කියල, දුවට සතුට ඉහවහා ගිහිල්ල , ඇගේ හැමතැනම මඩ, එකපාරටම අර පස් ටිකක් අරන් කටේ දාගත්ත මොනව කරන්නද අපට එකපාරටම කෑගැහුන දුව බය වෙලා ඇඩුව, කරන්න දෙයක් නෑනෙ, කට හොදට හේදුව අඩද්දිම

 

අපේ දුවට දැන් අවුරුදු එකයි මාස පහයි. දැන් ඇය හොදට ඇවිදිනව, අම්ම, තාත්ත කියල කියනව, දගකාර වැඩ බොහොමයයි. චූටි දුවගෙ අළුත්ම සොයාගැනීම තමයි බටයකින් උරල බොන එක, ඒකට හරිම ආසයි, ඉස්සෙල්ලම බිව්වෙ තැඹිලි ගෙඩියකින් ටිකක්, ඊයෙ පලතුරු පානයකින් ටිකක්, දුව ඒ වැඩේටනම් හරිම ආසයි, එහෙම් බීල හයියෙන් හිනා වෙනව.

සියලු දෙනාම දන්නව දරුවකුගෙ අගය, දෙමාපියන් දරුවනට දක්වන ආදරය වගේම දරුවන් දෙමාපියනට දක්වන ආදරය. මෙය විස්තර කළ නොහැකි සංකීර්ණ දෙයක් යයි මගේ හැගීමමෙය මිනිසාට පමණක් සීමා වූ දෙයන් නොවන අතර මුලු මහත් සත්ව හා ශාක ලෝකයේ දක්නට ලැබෙන දෙයක්. නමුත් එය සුලු වශයෙන් හරි අකුරු කිරීම. මගේ අරමුනයි

අපේ දුව ඉපදුන දිනයේ සිට ඇය ගැන බ්ලොග් සටහනක් තබන්න බැරිවීම ගැන ඇතිවන්නේ දුකක්, ඇත්තටම මට ඒක ගැන අදහසක් අවෙ නෑ, එහෙම උනානම් ඇගේ ජීවිතයෙ හැම සංධිස්ථානයක් ගැනම මට ලියල තියන්න තිබුන. එයාට කියවන්න පුළුවන් වෙනකොට තෑග්ගක් විදියටත් දෙන්න තිබුන. කොහොම උනත් අද ඉදන් හරි පටන් ගන්න ලැබීම හිතට සතුටක්