චූටි දුව

Archive for January 2009

දුවගෙ උපන් දිනයත් ලගයි, ජනවාරි 4 වෙනිදට අවුරුදු දෙකක් වෙනව. කාලය ගෙවුන වේගය හිතා ගන්නත් බෑ. දැන්න්ම දුව දාල රැකියාවට එන්න හිතෙන්නෙම නෑ. ලගටම වෙලා ඉන්න තමයි ආස. මොනව කරන්නද ඒත් රැකියාවත් බේර ගන්න එපැයි.

මේ තියෙන්නෙ දුව කරන වැඩ ටිකක්,

දුව දැන් හැඩතල දෙකක් අදුරගන්නව, ඒ රවුම හා කොටුව. දවසක් මම රවුමක් ඇදල ඇහුව මේ මොකක්ද කියල, දුව කිව්ව රවුමක් කියල, ඊට පස්සෙ මම කොටුවක් ඇදල ඇහුවම ඒකත් කිව්ව. ඊට පස්සෙ මම නිකමට වගේ ත්‍රිකෝණයක් ඇදල ඇහුව මොකක්ද කියල දුව දන්නවද කියල. මෙන්න එකපාරටම දුව කියනව ඒ ෆිෂ් බන් එකක් කියල. මොකද දුව දවසක් හොදට බලාගෙන හිටිය ගෙදර මාළුපාන් හදනව, ඒක මතක තිබිල තමයි එහෙම කිව්වෙ. ළමයි ගොඩක් දේවල් ඉගෙනගන්නෙ අත්දැකීමෙන්නෙ. ගෙදර රොටි, ඉදිආප්ප වගෙ පිටි වලින් හදන කෑම හදනකොට දුවටත්  පිටි ඕනවෙනව සෙල්ලම් කරන්න. දැන් කෑම හැදුවෙ නැතත් මතක් උනාම පිටි අනල දෙන්න ඕන සෙල්ලම් කරන්න.  ඒවගෙන් එක එක විදියෙ දේවල් හදනව, මෙ සෙල්ලමට වැඩියෙන්ම අහුවෙන්නෙ ආච්චි අම්ම තමයි. ගෙදර ලගට නයෙක් ආව දවසක්, ඒ දවස් වල දිගටම හැදුවෙ නයි තමයි, ඊට පස්සෙ බෙහෙත් වගයක් දැකල මේ දවස් වල ප්ලාස්ටික් බටයකින් බෙහෙත් පෙති කපන එක තමයි සෙල්ලම. දවසක් රතුපාට බෙහෙත් පෙති ගොඩක් තියෙනව වීසි කරන්න තියල බලනකොට පිටිවලට රතුපාට කලරින් කළවම් කරල අම්මත් එක්ක, මමත් රැවටුනා බෙහෙත් කියල.

දුවගෙ දත් ආපු දවස් වල දත් මදින එකත් යුද්ධයක් වගෙ ඒකට කැමතිම නෑ. ඒත් දැන් දුව දැන් හොදට දත් මදිනව කරදරයක් නැතිව. ඒත් අද උදේ දත් මදින්න කිව්වම දුව කියනව ” ඊයෙත් මැද්දනෙ අද ඕන නෑ” කියල, ඒ පාර එහෙමහරි යන්නෙ නෑ අදත් මදින්න ඕන කිව්වම කියනව ” අර ආච්චි අම්මයි, අම්මයි හිටපු දවසෙත් මැද්දෙ” කියල. පස්සෙ දත් ටික මැද්ද කරදර කරේ නෑ මදින්න බෑ කියල. 

දුව පොඩි කාලෙ ඉදලම නිදාගන්න කැමති කොට්ටයක් තියෙනව, ඒකට කියන්නෙ කුරුළු කොට්ටෙ කියල. එහෙම කියන්නෙ ඒකෙ කුරුල්ලො පවුලක් ඇදල තියෙනව. එහෙම ඇදල දුන්නෙ දුවගෙ සීය. අද නිදාගන්න ගිහිල්ල මේ කොට්ටෙම ඉල්ලනව. ඒත් ඒක හෝදල තෙතයි. ඕනම කියන නිසා දුන්න, ඒත් එකෙ නිදාගන්න බෑනෙ හීතලයි, පරදින්නත් කැමති නෑනෙ, ඒ පාර ඒකොට්ටෙ උඩින් වෙන කොට්ටයක් තියන්නලු නිදාගන්න. එතකොට දුව දිණුම්නෙ. එහෙම කරා ඒපාර.

දැන් කියන වචන තමයි මරු, ඇයි සමහර අකුරු කියවෙන්නෙ නෑනෙ

හමයියා –> හමනලයා = සමනලයා , හවුම් හවුම් බිස්කට් = රවුම් රවුම් බිස්කට්

ලගදි දවසක සෙල්ලම් කර කර ඉන්නකොට කලිසමේ පිප්පියක් දාගෙන, ඒපාර ආච්චි කියල තියෙනව කලිසමක් අරගෙන එන්න අන්දන්න කියල. ඒපාර කාමරයේ කලිසම් දාල තියෙන බකට් එක ගිහිල්ල බලල කලිසම් තියෙනවද කියල. තිබුනත් අරගෙන එන්නෙ නැතිව අත් දෙකත් පිටිපස්සට කරගෙන හිමිහිට කිය කියා යනවලු “ආච්චි අම්මට කියන්න ඕන පෑන්ටි නෑ කියල”.