චූටි දුව

Archive for the ‘දුවගෙ සෙල්ලම්’ Category

අපේ ගෙදරට උඩ ගෙදර පොඩි ලමයි තුන්දෙනෙක් ඉන්නව, පුතාල දෙන්නයි එක දුවකුයි ,දුව තමයි බාලයා, එයා තමයි අපේ ගෙදර නිතරම එන්නෙ දුවත් එක්ක සෙල්ලම් කරන්න. දුවට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල්. දවසක් ඒ ගෙදරින් හොද බජව්වක් ඇහෙනව, බයිල සින්දු තමයි කියන්නෙ තුන්දෙනා එකතු වෙලා, ටිකකින් අමුතුම, අලුත් බයිලාවක් ඇහෙන්න පටන් ගත්ත. අපිටයි ඒ ගෙදර අයටයි පුදුමයි කවදාවත් අහල නෑනෙ එහෙම බයිලාවක්, හොද තාලෙට කියනව මේසයකටයි, ටින් එකකටයි තට්ටු කරන ගමන්. මෙන්න බයිලාව “තිබ්බ නේද මේසෙ උඩින් වැනිල කුප්පිය” ඊට පස්සෙ මේක විතරයි දිගටම කියන්න්නෙ.

පස්සෙ අපි හොයල බැලුව මේක සිදුඋන විදිය, අපේ දුවට ගෙනෙල්ල දෙන කවි තියෙන පොත් අපි එයාට ඇහෙන්න කියවනව, කිහිප වාරයක් කියවනකොට ඒව එයාට කටපාඩම් වෙනව, ඊට පස්සෙ දුව ඒ කවි වලට එයාගෙ වචන දාල කවි වගේ ඒව හදනව, ඉතින් අපි ඒව බොහොම ආදරයෙන අගය කරනව, දුව  කවියක්  හැදුවාම  දුවගෙ සීයා ඒවා දිනයත් එක්කම පොතක ලියල තියාගන්නව.

මේ කවි වලට දුව වචන හොයා ගන්නෙ එයා සෙල්ලම් කරන්න ගන්න, වට පිට දකින්න තියෙන දේවල් අනුව. කේක්, අයිස්ක්‍රීම් හදන්න ගෙනාපු ඉවරඋන වැනිල කුප්පියක් තමයි මේ දවස් වල ප්‍රධානම සෙල්ල්ම් බඩුව, ඉතින් මේකෙ වතුර පුරවල ඒකෙන් තමයි බෝනික්කන්ට වතුර, බෙහෙත් වගේ දේවල් දෙන්නෙ, අනිත් වෙලාවට මේසයක් උඩ තමයි තියල තියෙන්නෙ. තාත්ත කිව්ව දුව ඔය වගේ එකක් කිව්ව කෝකටත් ලියපු පොත බලමු කියල, බලනකොට මේක ලියල තියෙනව පොතේ, ඒක කියල තියෙන්නෙ උඩ ගෙදර දුවත් අපේ ගෙදර ඉන්න වෙලාවක, මේක ඒ දුවටත් මතක තිබිල සින්දු කියන වෙලාවට අයියලට කියල තමයි බයිලාව හදල තියෙන්නෙ.

කොහොම කොහොම හරි දුව ගීත රචිකාවියක් උනා. ඊලගට දුව හදපු කවි කතා ටිකක් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ, හැබැයි ගොඩක් කවි වල තියෙන්නෙ එක පේලියයි.

Advertisements

දුව දැන් සෙල්ලම් ගෙවල් දානව උඩ ගෙදර ඉන්න දුවත් එක්ක එකතු වෙලා. මේකට උදව් කරන්න මම මේ දවස් වල පොඩි කූඩාරමක් හොයනව තාම හම්බ උනේ නෑ ගන්න, දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්. මම දැකල තියෙනව ඉස්සර දවස් වල හැව්ලොක් පාක් හරියෙ පාර අයිනෙ තියාගෙන විකුණනව මේ දවස්වලනම් තිබුනෙ නෑ. මේ සෙල්ලමට බෝනික්කන් හතර පස් දෙනෙක් ඕන. මේ අයට නමුත් දාල තියෙන්නෙ ආච්චි එක්ක එකතු වෙලා, “පින්කි” “රෝසි” මේ අතරින් කීපදෙනෙක්. සෙල්ලමට වැටුනම කිසි දෙයක් මතක නෑ, හැබැයි බත් ටිකක් කවාගන්න පුළුවන් දෙන්නටම එකට කන්න දුන්නම. ඒත් ඉතින් දවල්ට කෑවොත් රෑට නෑ ඒ වගේ තමයි. දුවට දැන් අවුරුදු තුනකටත් ලගයිනෙ, කාලය ගෙවිල යනව තේරුනේ නෑ.

ලගදි දවසක් දුව රෑට බත් කෑවෙ නෑ, බත් එපා කියල බිස්කට් ඉල්ලුවා මම ක්‍රීම්ක්‍රැකර් එකක් දීල වඩාගත්ත, මම අහන්න හැදුවෙ දුවගෙන් ඇයි බත් කන්න කැමති නැත්තෙ කියල, දුවට මේක දැනගන්න ඇති, මම දුවට කිව්ව තාත්ත පොඩි වැඩක් අහන්න හදන්නෙලෞත්තරයක් දෙනවද කියල, දුව එකපාරටම අතේ තිබුන බිස්කට් කෑල්ල මගේ කටට දාල කියනව කටේ කෑම තියාගෙන කතාකරන්න හොදනෑලු, ඒක නිසා පස්සෙ අහන්න කියල ම්ගේ අතින් බැහැල අම්ම ලගට ගියා. මොනව කරන්නද මම දුවගෙ කපටිකමට අහුවෙලා පැත්තකට වෙලා හිටිය. හැම තාත්තලටම මෙහෙම වෙනව ඇති, මට විතරක් නෙමේ මම හිතන්නෙ.

දුව මේ දවස් වල සබන් බෝල යවන එක තමයි අලුතින් කරන සෙල්ලම, අපි දුවට ගෙනෙල්ල දුන්න එකපාරට සබන්බෝල ගොඩක් යවන්න පුළුවන් සෙල්ලම් බඩුවක්, දැන් ඉතින් ඒක අතඅරින්නෙම නෑ. සමහර වෙලාවට නිදාගෙන නැගිටින්නෙත් අම්මා සබන්බෝල යවමු, ආච්චිඅම්මා සබන් බෝල යවමු කියාගෙන. සබන් බෝල යවන එකට එක පාරක් පිම්බම සබන් බෝල 25 ක් 30 ක් විතර එක පාරට යවන්න පුළුවන්, හරිම ලස්සනයි, ඒත් දුවට ටිකක් මහන්සියි දිගටම කටින් පිබින්න ගියාම. ඒ පාර මම ඒක ෆෑන් එකට අල්ලල සබන් බෝල යවන්න කියල දුන්න, දැන් සතියකට එක සබන්බෝල බෝතලයක් විතර ඉවර කරනව. පස්සෙ මම ඒ liquid එක හදන formula එක net එකෙන් හොයාගෙන අත්හදා බැලුව, ඒක හොදට හරිගියා, දැන් සබන්බෝල liquid එක ගෙදරම තමයි හදල දුවට දෙන්නෙ. ඉතින් දුව සබන්බෝල යවනකොට අපි ඒවා අල්ලන්න හැමතැනම දුවන්න ඕන, හොද පණයනව සෙල්ලම ඉවර වෙනකොට. ඒත් දුව සතුටුවෙනකොට අපේ මහන්සිය ඉබේම නිවිල යනවනෙ.

දුව ගැන ලියන්න බැරිඋනා ගොඩක් කාලෙකින්, වැඩත් වැඩියි, කරදර ටිකකුත් තිබුන, ලියන්න තරම් හොද මානසිකත්වයක් තිබුනෙ නෑ. ඒකයි දුව ගැන ලියන්න පරක්කු උනේ. කිහිප දෙනෙක් මේ ගැන විමසලත් තිබුන ලියන්නෙ නැත්තෙ ඇයි කියල, මේක ඒ අයට පිළිතුරක් වේවි කියල හිතනව.

මේ දවස් වල දුවට සනීප නෑ ටිකක් විතර හෙම්බිරිස්සාව හැදිල ඉන්නෙ. හැදුනෙ කොහොමද කියල ඇහුවම නම් කියන්නෙ තාත්තගෙන් බෝඋනා කියල, මොකද මටත් හෙම්බිරිස්සාව හැදිල තියෙන්නෙ මේ දවස් වල. දුව දැන් ටිකක් ලොකුයි වයසින්නම්, හැබැයි බත් වගෙ කෑම කන්නෙ නැති නිසා ඇගෙන් නම් පොඩියි හොදටම, බත් කන්නෙ දවස් දෙකකට විතර පාරක් තමයි.

මේ දවස් වල පියන් වලින් කරන සෙල්ලම් තමයි දුව ගොඩක් කරන්නෙ, (මොකද එක එක පාට පියන් ගොඩක් හම්බ වෙලා තියෙන්නෙ) ඊට අමතරව බෝනික්කන් නලවන එකත් ජනප්‍රිය සෙල්ලමක් තමයි. මේකට ඉතින් අපිත් එකතු වෙන්න ඕන, බෝනික්කන් අරගෙන, ගොඩක් වෙලාවට ආච්චියි, සීයයි තමයි මේකට අහුවෙන්නෙ, පැයක් විතර ඉතින් එයත් එක්ක මේ සෙල්ලම් ඉවර වෙනකම්ම ඉන්න ඕන වෙන වැඩකට එහෙම යන්න බෑ.  එහෙම නැත්නම් සින්දු වලට එයත් එක්ක නටන්න ඕන, සමහර වෙලාවට දුව වඩාගෙන තමයි නටන්න ඕන, නටන විදියයි, සින්දුවයි ගැන අවසන් තීරණය දුවගෙ තමයි, අපට තියෙන්නෙ කරන්න විතරයි, මම හිතන්නෙ හැම ගෙදරම ඔහොම තමයි.

ඉතින් අදට ටිකකින් නවතින්නම්, මම දුව ගැන දිගටම ලියනව, මාත් එක්ක ඉන්න ඔබට ස්තුතියි..

දුව දැන් වචන කිහිපයක් එකතු කරමින් වාක්‍ය තනමින් කතාකරන්න උත්සාහ ගන්නව. ඒකට උදව් වෙන්න අපිත් එයත් එක්ක නිතරම කතාකරනව. මේ දවස් වල සීයයි ආච්චියි දෙන්නම දුව බලාගන්න ගිහිල්ල නිසා දුවට කතා කරන්න කට්ටිය ඉන්නව. දුව කියන දේවල් ඒ දෙන්න කරන නිසා දුවත් ඒ දෙන්නට කැමතියි. මේ දවස් වල දුවට බලන්න ළමා ගීත තියෙන VCD කිහිපයක් ගෙනාව, මුලදි නම් ඒව බලන්න ආසාවක් තිබුනෙ නෑ, ඒත් ටික දවසක් යනකොට නැතිවම බැරි උනා. නිතරම දාන්න කියනව. අම්ම හාව අක්ක ඉන්න එක දාන්න කියල තමයි කියන්නෙ ‍‍ඒ කියන්නෙ ඉබ්බගෙයි හාවගෙයි රේස් එක තියෙන සිංදුව ගැන ඒකෙ හාවට ඇදල ඉන්නෙ චූටි දුවක්. ඒ වගෙ එයා කැමති සින්දු කිහිපයක් තියෙනව ඒ ටික තමයි එක දිගටම බලන්න කැමති. සමහර වෙලාවට රෑ දොලහට විතරත් නැගිටල හාව සින්දුව දාන්න කියනව, ටිකක් මුරන්ඩුයි ඒත් ඉතින් අපි දාල දෙනව. දරුවන්ගෙ ආසාවල් හැකි පමණ උපරිමයෙන් ඉටු කිරීම තමයි දෙමාපියන්ගෙ උත්සාහය. ඒත් එහෙම කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද, ඒ ගැන මතක් උනාම සෑහෙන පසුතැවිල්ලක් ඇතිවෙනව. මේ වෙලාව වෙනකොට ළමයි කී දෙනෙක් තම දෙමාපියන්ගෙන් කන්න දෙයක් ඉල්ලල කරදර කරනව ඇතිද, එය ඉටුකිරීමට නොහැකිව දෙමාපියන් කී දෙනෙක් දුක් කදුළු හෙලනව ඇතිද.

ගොඩක් දවසකින් දුව ගැන ලියන්න බැරි උනා. කාර්යාලයේ වැඩ ගොඩ ගැහිල. නිවාඩුවක් නෑ. කොහොම හරි නිවාඩුවක් හදාගෙන ලගදි දවසක අපි දුවත් එක්ක අම්බලංගොඩ ගෙදර ගියා. එහෙදි මුහුදෙ නාන්න ගියා දුවත් එක්ක, හරිම සතුටුයි දුවට වැලි, වතුර, දගලන්න ඉඩකඩ, නිදහස ඔක්කොම එකම තැනක, ලේසියට මේ වගෙ තැනක් හම්බ වෙන්නේ නෑනෙ කාලයකට. දුවට දැන් අවුරුදු දෙකකට ලගයි, තවම මුහුදු වෙරළට ඇවිත් තියෙන්නෙ දෙවතාවයි අම්බලංගොඩ වෙලත් මුහුදු වෙරළට දුවව එක්කන් යන්න වෙන්නෙ නිවාඩුවට ගෙදර ආවම තමයි. ඒ අතින් අපේ ළමා කාලය දරුවන්ට උරුම කිරීමට නොහැකිවීම ගැන හිතට දුකයි. අපි නම් ගෙදරට හොරෙන් හරි මුහුදෙ නානවනෙ  දෙමාපියන් එපා කිව්වට. වෙරළෙදි අපි දුවගෙ අතින් අල්ලගෙන හිටියෙ, ඒත් දුව කැමති නෑ ඒකට අත, අත අරින්න කියල වතුරට දුවනව දුව වතුරට බය නෑනෙ පොඩ්ඩක්වත්. දෙතුන් පාරක් ලුණු වතුර පෙවුන ගානක් නෑ, ආපහු වතුරට යන්නම තමයි ආසාව. ඊට පස්සෙ අපිත් එයාය ඕන විදියට සෙල්ලම් කරන්න දීල බලාගෙන හිටිය දුව හොදට සතුටු උනා  ඒකනිසා අපටත් සතුටුයි. පැය දෙක තුනකට පස්සෙ බොහොම අමාරුවෙන් ගෙදර එක්කගෙන ආව ආපහු මුහුදෙ නාන්න යන පොරොන්දුව මත. දැන් මුහුදෙ නාපු විදිය මතක් උනාම අපට බිම පීනල පෙන්නනව, සමහර වෙලාවට අපිටත් දුවත් එක්ක බිම පීනන්න වෙනව එයාට ඇති වෙනකම්ම. ඒකනම් මාර රැග් එක අපට.

දැන් දුවට මාස දහ අටයි. ඊයෙ triple එක විද්දා, ටිකක් විතර ඇඩුව බෙහෙත් එක විදිනකොට දැන් ටිකක් උණ වගෙ යන්න කලින් පැරසිටිමෝල් සිරප් දීල එක්කගෙන් ගියෙ ඒක නිසා එච්චරම ප්‍රශ්ණයක් නෑ , කන්නෙත් නෑ කකුල අල්ලගෙන උයිය වෙලා කිය කිය ඉන්නව. කකුල රිදෙන නිසා ඇවිදින්නවත් කැමති නෑ, වඩාගෙනම හිටිය ඒක නිසා, පව් මොනව කරන්නද බෙහෙත් එක විදින්නම එපැයි. රෑ දෙපාරක් විතර කාපු ටිකත් දැම්ම, හරිම දුකයි බඩගින්නෙ ඉන්නකොට අපිටත් කන්න හිතක් නෑ. දරුවකුට අම්මල, තාත්තල කොච්චර ආදරේද, ඒ අයගෙ ආදරය මොන වගේද කියල මේ වෙලාවට හොදට තේරෙනව. ඒත් ලමයි ලොකු උනාම සමහර වෙලාවට මේක තෙරුම් ගන්නෙ නෑ. එතකොට අපට දුක හිතේවි. බිරිද අද වැඩට ගියෙත් නෑ, දුව ලගටම වෙලා ඉන්නව. දුව කැමතියි අම්ම ලගට වෙලා ඉන්නවනම්. හැම දරුවෙක්ම එහෙමනෙ. අනිත් වෙලාවට දුවව බලා ගන්නෙ පුංචි, නැත්නම් අම්මල දෙන්නගෙන් කෙනෙක්, ඒක නිසා දුවට ලැබෙන ආදරය, ආරක්ෂාව ගැන එතරම් ප්‍රශ්ණයක් අපට නැහැ. ඒක තමයි හිතට තියෙන එකම අස්වැසිල්ල අපි දුව ලග නැති වෙලාවට. මේ නිසා දුවට මේ දවස් වල වැලි වතුර අල්ලන්ත් බෑනෙ, එයාට වැඩියෙන්ම දුක ඇති ඒකට.