චූටි දුව

දුව දැන් වචන කිහිපයක් එකතු කරමින් වාක්‍ය තනමින් කතාකරන්න උත්සාහ ගන්නව. ඒකට උදව් වෙන්න අපිත් එයත් එක්ක නිතරම කතාකරනව. මේ දවස් වල සීයයි ආච්චියි දෙන්නම දුව බලාගන්න ගිහිල්ල නිසා දුවට කතා කරන්න කට්ටිය ඉන්නව. දුව කියන දේවල් ඒ දෙන්න කරන නිසා දුවත් ඒ දෙන්නට කැමතියි. මේ දවස් වල දුවට බලන්න ළමා ගීත තියෙන VCD කිහිපයක් ගෙනාව, මුලදි නම් ඒව බලන්න ආසාවක් තිබුනෙ නෑ, ඒත් ටික දවසක් යනකොට නැතිවම බැරි උනා. නිතරම දාන්න කියනව. අම්ම හාව අක්ක ඉන්න එක දාන්න කියල තමයි කියන්නෙ ‍‍ඒ කියන්නෙ ඉබ්බගෙයි හාවගෙයි රේස් එක තියෙන සිංදුව ගැන ඒකෙ හාවට ඇදල ඉන්නෙ චූටි දුවක්. ඒ වගෙ එයා කැමති සින්දු කිහිපයක් තියෙනව ඒ ටික තමයි එක දිගටම බලන්න කැමති. සමහර වෙලාවට රෑ දොලහට විතරත් නැගිටල හාව සින්දුව දාන්න කියනව, ටිකක් මුරන්ඩුයි ඒත් ඉතින් අපි දාල දෙනව. දරුවන්ගෙ ආසාවල් හැකි පමණ උපරිමයෙන් ඉටු කිරීම තමයි දෙමාපියන්ගෙ උත්සාහය. ඒත් එහෙම කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද, ඒ ගැන මතක් උනාම සෑහෙන පසුතැවිල්ලක් ඇතිවෙනව. මේ වෙලාව වෙනකොට ළමයි කී දෙනෙක් තම දෙමාපියන්ගෙන් කන්න දෙයක් ඉල්ලල කරදර කරනව ඇතිද, එය ඉටුකිරීමට නොහැකිව දෙමාපියන් කී දෙනෙක් දුක් කදුළු හෙලනව ඇතිද.

Advertisements

ගොඩක් දවසකින් දුව ගැන ලියන්න බැරි උනා. කාර්යාලයේ වැඩ ගොඩ ගැහිල. නිවාඩුවක් නෑ. කොහොම හරි නිවාඩුවක් හදාගෙන ලගදි දවසක අපි දුවත් එක්ක අම්බලංගොඩ ගෙදර ගියා. එහෙදි මුහුදෙ නාන්න ගියා දුවත් එක්ක, හරිම සතුටුයි දුවට වැලි, වතුර, දගලන්න ඉඩකඩ, නිදහස ඔක්කොම එකම තැනක, ලේසියට මේ වගෙ තැනක් හම්බ වෙන්නේ නෑනෙ කාලයකට. දුවට දැන් අවුරුදු දෙකකට ලගයි, තවම මුහුදු වෙරළට ඇවිත් තියෙන්නෙ දෙවතාවයි අම්බලංගොඩ වෙලත් මුහුදු වෙරළට දුවව එක්කන් යන්න වෙන්නෙ නිවාඩුවට ගෙදර ආවම තමයි. ඒ අතින් අපේ ළමා කාලය දරුවන්ට උරුම කිරීමට නොහැකිවීම ගැන හිතට දුකයි. අපි නම් ගෙදරට හොරෙන් හරි මුහුදෙ නානවනෙ  දෙමාපියන් එපා කිව්වට. වෙරළෙදි අපි දුවගෙ අතින් අල්ලගෙන හිටියෙ, ඒත් දුව කැමති නෑ ඒකට අත, අත අරින්න කියල වතුරට දුවනව දුව වතුරට බය නෑනෙ පොඩ්ඩක්වත්. දෙතුන් පාරක් ලුණු වතුර පෙවුන ගානක් නෑ, ආපහු වතුරට යන්නම තමයි ආසාව. ඊට පස්සෙ අපිත් එයාය ඕන විදියට සෙල්ලම් කරන්න දීල බලාගෙන හිටිය දුව හොදට සතුටු උනා  ඒකනිසා අපටත් සතුටුයි. පැය දෙක තුනකට පස්සෙ බොහොම අමාරුවෙන් ගෙදර එක්කගෙන ආව ආපහු මුහුදෙ නාන්න යන පොරොන්දුව මත. දැන් මුහුදෙ නාපු විදිය මතක් උනාම අපට බිම පීනල පෙන්නනව, සමහර වෙලාවට අපිටත් දුවත් එක්ක බිම පීනන්න වෙනව එයාට ඇති වෙනකම්ම. ඒකනම් මාර රැග් එක අපට.

දැන් දුවට මාස දහ අටයි. ඊයෙ triple එක විද්දා, ටිකක් විතර ඇඩුව බෙහෙත් එක විදිනකොට දැන් ටිකක් උණ වගෙ යන්න කලින් පැරසිටිමෝල් සිරප් දීල එක්කගෙන් ගියෙ ඒක නිසා එච්චරම ප්‍රශ්ණයක් නෑ , කන්නෙත් නෑ කකුල අල්ලගෙන උයිය වෙලා කිය කිය ඉන්නව. කකුල රිදෙන නිසා ඇවිදින්නවත් කැමති නෑ, වඩාගෙනම හිටිය ඒක නිසා, පව් මොනව කරන්නද බෙහෙත් එක විදින්නම එපැයි. රෑ දෙපාරක් විතර කාපු ටිකත් දැම්ම, හරිම දුකයි බඩගින්නෙ ඉන්නකොට අපිටත් කන්න හිතක් නෑ. දරුවකුට අම්මල, තාත්තල කොච්චර ආදරේද, ඒ අයගෙ ආදරය මොන වගේද කියල මේ වෙලාවට හොදට තේරෙනව. ඒත් ලමයි ලොකු උනාම සමහර වෙලාවට මේක තෙරුම් ගන්නෙ නෑ. එතකොට අපට දුක හිතේවි. බිරිද අද වැඩට ගියෙත් නෑ, දුව ලගටම වෙලා ඉන්නව. දුව කැමතියි අම්ම ලගට වෙලා ඉන්නවනම්. හැම දරුවෙක්ම එහෙමනෙ. අනිත් වෙලාවට දුවව බලා ගන්නෙ පුංචි, නැත්නම් අම්මල දෙන්නගෙන් කෙනෙක්, ඒක නිසා දුවට ලැබෙන ආදරය, ආරක්ෂාව ගැන එතරම් ප්‍රශ්ණයක් අපට නැහැ. ඒක තමයි හිතට තියෙන එකම අස්වැසිල්ල අපි දුව ලග නැති වෙලාවට. මේ නිසා දුවට මේ දවස් වල වැලි වතුර අල්ලන්ත් බෑනෙ, එයාට වැඩියෙන්ම දුක ඇති ඒකට.

මේ දවස් වල දුවට ඕන කෑම ජාති මොනවද කියල ඇහුවම එයා නම කියල ඉල්ලනව. වැඩිපුරම කියන්නෙ යෝගට්කියල තමයි. හැබයි කන්නෙ බාගයයි. ඉතුරු ටික බල්ලන්ට, කුරුල්ලන්ට. අයිස් කැට කන්නත් හරිම ආසයි,  ඒවනම් කාටවත් දෙන්න උවමනාවක් නෑ. බිලිං, තක්කාලි, දෙහි වගෙ ඇඹුල් දේවල් තමයි අංක එක. බත් කන වෙලාවට ඒව දැක්කොත් බත් කන එක නවත්තල ඒව ඉල්ලනව.

දුව කන්න කැමති දේවල් සතියෙන් සතියට විතර වෙනස් වෙනව. මේ දවස් වල අලුත්ම කෑම ජාතිය තමයි චෙරි තක්කාලි. චෙරි ගෙඩි වගේ පොඩි තක්කාලි ජාතියක්. මේ ගස් කිහිපයක් ගෙදර හැදිල තිබුන. ඒවගෙ ගෙඩි එන්නෙ පොකුරු විදියට. ඉතින් මේ පොකුරක් අතේ තියාගෙන එකින් එක අරගෙන කන්න තමයි කැමති. කෑම එපා උනාම අපිව රවටල ඒව වීසි කරනව. දුවට බොන්න හදල දීපු දොඩම් එක ඇතිවෙලා ඉතුරු ටික වීසි කරන්න, අපට පෙන්නුව අන්න සමනළයෙක් පියාබනව කියල. අපි ඒපැත්ත බලල දුව දිහා බලද්දි දොඩම් එක බිමට හලල හිනා වෙවී ඉන්නව. දුව මේ වගේ කපටි වැඩ ගොඩක් කරල තියෙනව. අසනීපයක් හැදුන වෙලාවට බෙහෙත් පොවන්නත් එතරම් අමාරු නැහැ. බෙහෙත් පැණි ටික ඒවා පොවන පියනට අරගෙන එයාට දෙන්න ඕන රස බලන්න, එතකොට ඇඟිල්ල දාල රස බලල බෙහෙත් ටික ඔක්කොම බොනව.

දුව මේ දවස් වල වචන් එකතු කරල කියන්න උත්සාහ කරනව අම්ම ගියා, තාත්ත ගියා, බඩගිනි නෑ තාත්ත ආව නෑ” , වගේ ඒව  කියනව.  හරි ආසයි කතා කරනව බලන් ඉන්න.

 

දුව සෙල්ලම් කරන්න ආසම දේවල් තමයි ඇට වර්ග, බොත්තම් ,පෑන්, පැන්සල්, වයර් වෑලි, පොත් වගේ දේවල් (වැලි,වතුර ඇරුනහම). බෝනික්ක්කො එක්කත් සෙල්ලම් කරනව. ඇට ජාති වගේ කටේ දාගෙන හිරකරගන්න දෙවල් එක්ක සෙල්ලම් කරනකොට අපි බලාගෙනම ඉන්නව, බයයිනෙ හිරකර ගත්තොත්. ඇට වගෙ පොඩි දේවල් ඔක්කොම එක අතකට ගන්න තමයි උපරිම උත්සාහය. ඒත් පොඩි අතකට ගන්න පුළුවන් කීයද. ඒත් අතඅරින්නෙම නෑ කොහොම හරි ගන්න උත්සාහ කරනව, සාර්ථක උනොත්, කට පුරා හිනාව බලන්න ආසයි.

ඒ වගෙ පොඩි දේවල් අතට අරගෙන පොඩි බෝතලයකට, පියනකට වගේ එකකට දාගන්නව ඊට පස්සෙ ගේ හැමතැනම වීසි කරනව, ආපහු අහුලගන්නව පැයකට විතර පස්සෙ ඇති වෙනව. ඊට පස්සෙ වෙනත් සෙල්ලමක් හොයා ගන්නව. අපි ඉතිං පස්සෙන්ම ඉන්න ඕන. ආසයි බලන් ඉන්න කරන දෙවල්. දුව පෑන්, වයිට් බෝඩ් මාකර් , ප්ලැටිග්නම් වගේ දේවල් වලින් ලියන්න (බලි කුරුටූ අදින්න ) ආසයි. අපි වැඩක් කරන්න ගත්තොත් ඒ පොත්, පෑන් එයාට ඕන. අරගෙන බිම දාගෙන ලියනව ඉතින් පොත් ඉවරයි. ඒක දුවට දීල අපි වෙන පෑනක් ගත්තොත් ඒකත් එයාට ඕන, තව පෑන් පොත් කීයක් ගත්තත් දුවට දෙන්න වෙනව සෙල්ලම් කරන්න. ඒක නිසා මොනව හරි ලියන්නම් දුවගෙ අවධානය වෙන අතකට යොමු වෙනකම්ම ඉන්න ඕන. ටික වෙලාවකින් පොත පැත්තකට දාල බිම ලියන්න පටන් ගන්නව (බිම අදිනකොට බලන්න ආසයි, පස්ස උඩතියන් තමයි අදින්නෙ), ටිකකින් ඒකත් අවසානයි, ඊට පස්සෙ බිත්ති වල අදිනව, හැම බිත්තියම මේ වෙනකොට ඇදල ඉවරයි එකම උසකට.

මට ගෙදර ඉන්න බල්ලො ගැන කියන්න බැරි උනානෙ. ඒත් ඊට කලින් කියන්න එකක් තියෙනව, දුව බල්ලන්ට හරිම ආසයි, එයාගෙ හොදම යාළුවො තමයි බල්ලො. බල්ලෙක් දැක්කොත් ඉවසුමක් නෑ කොහොම හරි අල්ලන්න තමයි බලන්නෙ. බල්ලොත් එක්ක කතා කරන්න අපට බැරි උනාට පොඩි ලමයින්ට අදහස් හුවමාරු කර ගන්න පුළුවන් ඇති, බල්ලොත් පොඩි දරුවන්න්ට හරිම ආදරෙයිනෙ. ගෙදර ඉන්න බල්ලන්ට දරුවො කොච්චර ගැහුවත් හපාකන්නෙ නෑනෙ. අපේ අයියලගෙ ගෙදර ඉන්න බල්ලන්ට අයියගෙ බබාල දස වද දෙනව, උන්, උන්ට නෙවේ වගෙ ඉන්නව. දරුවන්ට හරිම ආදරෙයි. දන් ඉතින් ගෙදර ඉන්න බල්ලො දෙන්නා ගැන, එක්කෙනෙක් ටීරො අනිත් එක්කෙනා ටායි, ටායි ට දුව කියන්නෙ යෝ යෝ කියල. ඒ දෙන්නව බදාගන්න දවසක් හැදුව, අමාරුවෙන් නවත්ත ගත්ත. ටීරෝ දුව ගානටම උසයි දුවගෙ ඇගේ වැදුනොත් දුව වැටෙන්නත් පුලුවන් ඒකනිසා ඒ අය ලිහපු වෙලාවට හොදට බලාගන්න ඕන.

දැන් කාලෙ පොඩි ලමයි  සෙල්ලම් කරන්න ගන්නෙ අලුත් දෙවල්, මගෙ phone එක දැක්ක ගමන් ඒක එයාට ඕන සෙල්ලම් කරන්න. කණ ලගට කරගෙන තාත්ත, අම්ම කියකිය හැම තැනම දුවනව. ලස්සනයි ඒත් ඉතින් සෞඛ්‍යයට හොඳද දන්නෙ නෑනෙ, ඉල්ලුවට දෙන්නෙත් නෑ, ගත්තොත් අඩනව, ඊට පස්සෙ ඒකෙ තියෙන button press කරනව, එතකොට එලිය එන නිසා ඒකටත් කැමතියි. ටිකකින් එපා වෙනව එතකොට බිමට වීසි කරල දානව, බැටරිය පැත්තක  phone එක පැත්තක, හොදට හිනාවෙනව එහෙම කරල (අපි එපා කියන දේවල් කරන්න පොඩි අය කැමතියිනෙ)

දුව මේ දවස් වල වැලියි, වතුරයි එක්ක සෙල්ලම් කරා වැඩියෙන්, දූවිලි තියෙන නිසා හෙම්බිරිස්සාව හැදිල, හරියට නින්ද යන්නෙත් නෑ අසනීම උනාම, නැගිට්ට ගමන් සෙල්ලම් කරනව එතකොට සනීපවෙන්න යන කාලයත් වැඩියි, එයාලට ඒක තේරෙන්නෙ නෑනෙ. අපේ හිතට දුකයි, හරියට කෑමක් ගන්නෙවත් නෑනෙ අසනිප උනාම. හැබයි දුවනම් කොහොමත් කෑමට හොරයි, බරත් වයසට වඩා අඩුවෙන් තමයි තියෙන්නෙ. කෑම කවනකොට පැය භාගයකට වඩා කවන්න හොද නෑනෙ, මොනව දුන්නත් කන්නෙ නෑ, එයාට ඕනනම් විතරයි කන්නෙ, ඊට පස්සෙ අපේ අතට ගහල වීසි කරනව එපා එපාකියල. කොහොමත් බලෙන් කවන්න හොද නෑ එතකොට කෑම එපා වෙනවලු බබාලට.

දුව දැන් බත් අතින් කන්න කැමතියි, බත් කනකොට කනවට වඩා ගොඩක් බිමට වැටෙනව. කටක් දෙකක් කාල බත් එක්ක සෙල්ලම පටන් ගන්නව. අතට අරන් කාක්කන්ට වීසි කරනව බා බාකියල. ලගදි දවසක උදේට දීපු රොටි කෑල්ලක් කාක්කන්ට දීල, උන් එකෙක් අතේ තියෙද්දීම අරගෙන ගිහිල්ල. දුවට හරි සතුටුයි කාක්ක ලගටම ආවට. ඒත් දුවට කෙටුවනම්, මොනව කරන්නද ඒක නිසා දැන් කවන වෙලාවට කාක්කොන්ට පැත්ත පලාතක එන්න දෙන්නෙ නෑ. දුව කොහොමත් සත්තුන්ට කිසිම බයක් නෑ. අපේ ගෙදරට වවුල්ලු වගයක් එනව රෑට. දවසක් උන් එකෙක් යන්න බැරුව බිම වැටිල හිටිය. දුවට දැක්ක ගමන් අල්ලන ඕන උනා, එපා කිව්වට අහන්නෙ නැති නිසා අල්ලන දුන්න. දුව ඇගිල්ලෙන් අල්ලනකොට වවුල පිහාටු දෙක විහිදුවනව, එතකොට දුවට හරිම සතුටුයි. කොහොම හරි පැයක් විතර මේ සෙල්ලම කරා අපේ අධීක්ෂණය ඇතුව පස්සෙ අපි පවු වවුල මැරෙයි කිව්වම යන්න දුන්න. එහෙම ඒවත් මේ පොඩි වයසට තේරෙනව. ඊට පස්සෙ මුළු ඇගම හේදුව, විසබීජ තියෙන්න පුළුවන්නෙ වවුලන්ගෙ.

 

අනිත් පොඩිඋන් වගේම දුවත් හරිම ආසයි වැලි, පස්, වතුර අල්ලන්න. ඒත් අපි පොඩිකාලෙ තරම් ඒව කරන්න ඉඩ හම්බවෙන්නෙ නෑනෙ දැන් කාලෙ පොඩි අයට. ගොඩක් වැඩිහිටි අය බයයි ලෙඩවෙයි කියල වැලි ඇල්ලුවම. ඒත් අපිනම් පුළුවන් හැම වෙලාවකදිම දුවත් එක්ක මිදුලෙ සෙල්ලම් කරනව, අපටත් වැලි නාන්න වෙනව දුවත් එක්කම, පොඩි අය කැමති ඒ අය සෙල්ලම් කරන වෙලාවට අපිත් ඒ අයත් එක්ක සෙල්ලම් කරනවනම්, හැබැයි දුව කියන විදියට තමයි අපි සෙල්ලම් කරන්න ඕන. පොඩි අය හිතන්නෙ අපට තියෙන්නෙ ඒ අයත් එක්ක සෙල්ලම් කරන්න විතරයි කියල, ජීවන සටන ගෙනියන්න අපි මොනතරම් දේවල් කරන්න ඕනද.

අපි දුවට ලගදි ගෙනෙල්ල දුන්න ප්ලාස්ටික් වලින් හදපු වැලි සෙල්ලම් කරන සෙට් එකක්, හැබැයි මේකෙන් සෙල්ලම් කරන්න කැමතිනෑ එච්චරම, අතින් අල්ලන්න තමයි කැමති . මේකෙන්  දවසක් පස් වතුර එක්ක හොදට කළවම් කරා, පස්සෙ ඒක පැත්තකින් තියල අත් දෙකෙන් අල්ලන්න ගත්ත. අපිත් බලාගෙන හිටිය මොකද කරන්නෙ කියල, දුවට සතුට ඉහවහා ගිහිල්ල , ඇගේ හැමතැනම මඩ, එකපාරටම අර පස් ටිකක් අරන් කටේ දාගත්ත මොනව කරන්නද අපට එකපාරටම කෑගැහුන දුව බය වෙලා ඇඩුව, කරන්න දෙයක් නෑනෙ, කට හොදට හේදුව අඩද්දිම